MITSUBISHI ECLIPSE CROSS

MITSUBISHI සමගම මගින් නිර්මිත Eclipse cross රථය crossover කාණ්ඩයට අයත් විශිෂ්ට නිර්මාණයක් ලෙස දැක්විය හැක. නවීන තාක්ෂණයෙන් අනුන එහි ඉන්ධන කාර්යක්ෂමතාවය, ආරක්ෂාව හා සුවපහසුව ඉතා ඉහල අගයක පවතී. ඉතා දැකුම්කළු නවීන පෙනුමකින් සමන්විත මෙම රථය ඉහල ව්‍යවර්තයක් (Torque) හා බලයක් (Power) සහිත එන්ජිමකින් බලගන්වා ඇත.

 

Engine


1.5L ධාරිතාවයකින් යුත් එන්ජිමක් මෙම රථයෙහි අන්තර්ගතකොට ඇති අතර එන්ජිමෙහි MPI  සහ Direct injection ආකාරයෙන් ඉන්දන විදුම් පද්ධතීන් දෙකක් සමාන්තර ව ක්‍රියාත්මක විය හැකි ආකාරයට නිර්මාණය කර ඇත.  මෙලෙස ඉන්ධන විදුම් පද්ධතීන් දෙකක් එක විට ක්‍රියාත්මක වන බැවින් මෙම එන්ජිමේ හි ඉන්ධන විදුම් කරනය සඳහා MPI පද්ධතියට අදාළව injectors හතරක්ද Direct injection පද්ධතියට අදාලව injectors හතරක් ද ආදී වශයෙන් ඉන්ජෙක්ටර් අටක් දකින්නට ලැබේ. මෙම එන්ජිමෙහි උපරිම බලය (Max. output) - 110kW වේ. උපරිම ව්‍යවර්තය (Max. torque) -  250 / 2000 – 3500 Nm.

 

ඉන්ධන විදුම් පද්ධතීන්ගේ ක්‍රියාකාරිත්වය Fuel injection system



මෙහිදී එන්ජිම තුළ ක්‍රියාත්මක වන්නේ MPI ක්‍රමවේදය ද නැතිනම් Direct injection ක්‍රමවේදය ද යන්න තීරණය කරනු ලබන්නේ එන්ජිමෙහි භාරය සහ වේගය අතර අනුපාතය විශ්ලේෂණය කිරීමෙනි. එන්ජිම අඩු වේග තත්වයක (RPM) හා අඩු භාරයක (Load) ක්‍රියාත්මක වන්නේ නම් MPI පද්ධතිය පමණක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අදාල injectors හතර පමණක් භාවිතයට ගනු ලබයි. නමුත් එන්ජිම ක්‍රියාත්මක වන්නේ වැඩි වේග තත්ත්වයක (RPM) හෝ වැඩි භාර (Load)  තත්ත්වයක හෝ මේ දෙකම යන අවස්ථාවක නම් එන්ජිමෙහි MPI පද්ධතියට සමගාමීව Direct injection පද්ධතිය ද ක්‍රියාත්මක වේ. එවිට සමාන්තරගතව එන්ජිම තුළ injectors අටක් ක්‍රියාත්මක වීම සිදු වේ.


එමෙන්ම මෙම එන්ජිමේ හි පිටාර වෑල්වය සඳහා Sodium filled exhaust valve තාක්ෂණය  යොදා ඇත. එමගින් ඉහළ උෂ්ණත්ව තත්වයක් යටතේ සාර්ථකව ක්‍රියාත්මක විය හැක. ඉහළ උෂ්ණත්ව තත්වයක් යටතේ මෙම වෑල්ව යන්හි ඇති sodium දියර බවට පත් වීම සිදුවේ.

 

තවද මෙම එන්ජිමෙහි cam shaft දෙකක් යොදා ඇති අතර Intake cam සඳහා Mitsubishi Innovative Valve timing Electronic Control system  හෙවත් MIVEC තාක්ෂණය යොදා ඇත.

 

 

මෙම එන්ජිම 110kW ඉහළ බලයකින් යුක්ත වන අතර මෙහි ව්‍යවර්තය 250 Nm ක් වේ. මෙම එන්ජිමෙහි ව්‍යවර්තය සැලකීමේදී විශේෂ අවස්ථා තුනක් දැක් විය හැක.

  • 1.      ඉහල ව්‍යවර්තය අගයක් පැවතීම - 250 Nm ක් වැනි අගයක්
  • 2.      අඩු එන්ජින් වේගයකදී එම ඉහළ ව්‍යවර්තය අගයට ළඟා වීම -  එන්ජිමෙහි වේගය 2000 rpm වැනි       අගයකදී
  • 3.      ළඟාවූ ඉහළ ව්‍යවර්තය අගය 3500 rpm දක්වා ස්ථිරව පවත්වා ගැනීම -  Flat torque curve

මෙලෙස ඉහළ තාක්ෂණයෙන් අනූනව නිර්මාණය වී ඇති මෙම Eclipse cross රථය තුළින් හොඳ බලයක් ව්‍යවර්තයක් මෙන්ම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ද දැක ගත හැක.

 


INVECS – III CVT transmission



ස්වයංක්‍රිය ගියර පද්ධතියක් සහිත මෙම රථයට CVT ආකාරයේ Transmission පද්ධතියක් එක්කර ඇත. ඉහල ඉන්ධන කාර්යක්ෂම තාවයකින් හා ක්‍රමිකව බලය වෙනස් කලහැකි CVT – Continuously Variable Transmission ගියර පද්ධතිය රථයේ සුව පහසුව වැඩි කිරීමටද දායක වී ඇත (Shift shock නොමැතිවීම හේතුවෙන්). CVT තාක්ෂනය පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් මින් පෙර මෙහි පළකර ඇත.  CVT ගියර පද්ධතියේ පාලනය සඳහා Mitsubishi  සමාගම විසින් INVECS – III (Intelligent Innovative Vehicle Electronic Control system) තාක්ෂණයෙන් යුක්ත පරිගණකයක් මෙම රථය ට එක්කර ඇත.

එමෙන් ම මෙම ගියර පද්ධතිය ගියර 8 කින් යුක්ත වන අතර Overdrive gear අවස්ථා හතරක් දැක ගත හැකිවීම විශේෂ ලක්ෂණයකි. මෙලෙස Overdrive gear හතරකින් යුක්ත වන බැවින් අධිවේගී මාර්ග වල ධාවනයේදී Eclipse cross රථය ඉතා ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරයි.

 


ANCAP Safety - 5 Star


Safety rating අගය 5 Star මට්ටම ලබා ගෙන ඇති මෙම Eclipse cross රථය ඉතා ඉහළ මගී ආරක්ෂාවකින් යුක්ත රථයක් ලෙස දැක්විය හැක.

 

Emission standard – Euro 4


Emission stands අගය Euro 4 මට්ටමෙහි පවතින බැවිනි මෙම රථයෙන් පිටවෙන පිටාර වායුව ඉතා අඩු විෂ තත්වයන්ගෙන් යුත් ඉතාමත් පරිසර හිතකාමී රථයක් ලෙස දැක්විය හැක.

 

FCM (Forward Collision Mitigation system)


ගමන් ගන්නා මගීන්ගේත් රථයේත් ආරක්ෂාවට ඉතාම වැදගත් වන්නා වූ සුවිශේෂී පද්ධතියක් ලෙස මෙම FCM පද්ධතිය දැක්විය හැක. මෙහිදී ඉදිරිපස ඇති කැමරාවකින් නිරන්තරයෙන් ම මාර්ගය නිරීක්ෂණය කරනු ලබන අතර ඉදිරියෙහි යම් බාධකයක් පවතින්නේ නම් රථය විසින් ස්වයංක්‍රියවම තිරිංග ක්‍රියාත්මක කිරීම තුළින් රථය නැවැත්වීම මෙම පද්ධතිය මගින් සිදු වේ. මෙහිදී බාධකයට කෙතරම් ළඟා වූ පසුව තිරිංග යෙදිය යුතුද යන්න අවස්ථා තුනක් යටතේ රියදුරුට  කලින් සැකසිය හැක. මෙහිදී බාධකයක් ඉදිරියෙහි පවතින්නේ නම් රථය විසින් රියදුරට කලින් සංඥා කිරීම් සිදුකරනු ලබන අතර ඔහු එයට අවනත නොවන්නේ නම් රථය විසින් ස්වයංක්‍රියවම තිරිංග ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. මෙම පහසුකම රියදුරුට අවශ්‍ය නොවන්නේ නම් මෙම පද්ධතියේ ක්‍රියාවිරහිත කිරීම සඳහා සඳහා ද අවස්ථාවක් ලබා දී ඇත.

 

Cruise Control system

අධිවේගී මාර්ගයක වැනි ස්ථානයක එක දිගට රථය දීර්ඝ වේලාවක් ධාවනය කිරීමේදී රියැදුරුට ඇති වන විඩාව මග හැරීම සඳහා මෙම ක්‍රමය යොදා ඇත. එහිදී ඔහුට අවශ්‍ය ස්ථිර වේගයක රථය ගමන් කිරීමට සලස්වා ත්වර පාදිකයෙන් (accelerator)  කකුල ඉවතට ගත හැක. එමෙන්ම රියදුරට ඕනෑම මොහොතක මෙම පද්ධතිය අක්‍රිය කළ හැකි අතර තිරිංග යෙදීමක දී මෙම පද්ධතිය ස්වයංක්‍රියවම අක්‍රිය විම සිදුවේ.



මෙම පද්ධතිය cruise control සහ Adaptive Cruise Control (ACC) යනුවෙන් ආකාර දෙකකට දැකිය හැක. මෙහිදී Adaptive cruise controls සහිත රථයක් නම් ඔබට ඉදිරියෙන් ඇති රථය හා පැවතිය යුතු පරතරය ද ස්ථිරව සැකසිය හැක. එම පරතරය අවස්ථා තුනක් යටතේ සැකසිය හැකි අතර රථයන් දෙක අතර පරතරය සකසන ලද අවස්ථාවට වඩා අඩු වන සෑම අවස්ථාවකම රථය ස්වයංක්‍රියවම තම වේගය අඩු කර ගැනීම සිදුකරන අතර නැවතත් පරතරය එම අවම අගයට වඩා වැඩි වන විට රථය කලින් සකසන ලද වේගයට   ස්වයංක්‍රියවම පැමිණ එම වේගයෙහි අඛණ්ඩව ධාවනය වීම සිදුවේ.

 

ABS – Anti lock Brake System


රථයේත් මගීන්ගේත් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ලිස්සන මතුපිටක් සහිත අවස්ථාවක ආරක්ෂාකාරී තිරිංග යෙදීමක් සඳහා අත්‍යවශය ABS පද්දතියක් මෙම රථයේ ස්ථාපිතකොට ඇත. (ABS – Anti lock Brake System තාක්ෂනය පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් මින් පෙර මෙහි පළකර ඇත)

 

EBD – Electronic Brake force distribution


රථයක තිරිංග යෙදීමේදී රෝද මත ගොඩනැගෙන බලයන් සමාන නොවේ. වේගයෙන් පැමිණෙන රථයක් තිරිංග යෙදීමේදී ඉදිරි පස රෝද දෙක සඳහා වැඩි බලයක් හා පසුපස රෝද සඳහා අඩු බලයක් ක්‍රියාත්මකවීම වීම සිදුවේ. එබැවින් මෙලෙස එක් එක් රෝද සඳහා වෙන වෙනමම තිරිංග බලයන් පරිගණකයක් ආධාරයෙන් ලබාදීම මෙම පද්ධතිය මගින් සිදුකරයි. (EBD – Electronic Brake force distribution පද්ධතිය පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී එක් කිරීමට බලාපොරොත්තුවේ)

 

Active Stability Control (ASC)


රථය වේගයෙන් වංගුවක ධාවනය කිරීමේදී ලිස්සා යාමකට ලක් වන්නේ නම්, එනම් රථය Over drive හෝ Under drive වන්නේ නම් රියදුරු  විසින් රථය හරවා ඇති කෝණය (Steering angle) හා මේ වනවිට  රථය හැර වී ඇති කෝණයක් අතර වෙනස සලකා බැලීමෙන් අනතුරුව රථයේ තිරිංග පද්ධතිය ආධාරයෙන් එක් එක් රෝදය තනි තනිවම හෝ අවශ්‍ය පරිදි අවශ්‍ය අනුපාතයන්ට තිරිංග ක්‍රියාත්මක කිරීම මගින් රථය විසින්ම ස්වයංක්‍රියවම රියදුරුට අවශ්‍ය දිශාවට රථය හරවා දී ධාවනය ආරක්ෂාකාරී හා පහසු  කිරීම මෙම පද්ධතිය මගින් සිදු කර දෙනු ලබයි.

 

Active yaw control system (AYC)


වංගුවක රථය ධාවනය කිරීමේදී වංගුවේ ඇතුළු පස රෝදයත් පිටත රෝදයත් අතර වේග වෙනසක් පැවතිය යුතු බව අපි දනිමු. එම වේග වෙනස පවත්වා  ගැනීමට Differential එකක් යොදා ඇති බව ද අපි දනිමු. එමෙන්ම රථය වේගයෙන් වංගුවක ධාවනය වීමේදී කේන්ද්‍ර අපසාරි බලය ද ක්‍රියාත්මක වන බව ද අපි දනිමු. එබැවින් රථයේ ඇතුළු පස රෝදයත් පිටත රෝදයත් මත ගොඩනැගෙන්නේ සමාන බලයන් (බර මගින් රෝද මත යෙදෙන බලය - m x g) නොවන බව ද අපි දනිමු. එමෙන්ම වංගුවේ පිටත රෝදයට වැඩි බලයක් යෙදෙන අතර ඇතුළු පස රෝදයට අඩු බලයක් සාපේක්ෂව යෙදෙන අවස්ථා පැවතිය හැක. එබැවින් ඇතුළු පස රෝදය මාර්ගය සමඟ පවතින සබඳතාවය අඩු වීමක් සිදු විය හැක. යම් හෙයකින් එම බලයෙහි අඩු වීම නිසා රෝදය මාර්ගය මතුපිට නිදහසේ කරකැවීමට ලක් වුවහොත්(Slip වුවහොත්) defamation ඇක්ෂන් එක හේතුවෙන් රෝදය වේගයෙන් නිදහසේ කරකැවීමට ලක්වේ. එම නිදහසේ කරකැවීම හේතුවෙන් වංගුවේ ඇතුළු පස රෝදය වංගුවෙන් පිටත රෝදයේ වේගයට වඩා වැඩි අගයකට ළඟ විය හැක. නමුත් ආරක්ෂාකාරීව රථය වංගුවෙහි ධාවනය වීමට නම් සෑම විටම වංගුවේ ඇතුළු පස රෝදය වංගුවේ පිටත රෝදයට වඩා අඩු වේගයක පැවතිය යුතුවේ. මෙලෙස ලැබෙන නිදහස හේතුවෙන් එහි ඇතුළු පස රෝදය පිටත රෝදයට වඩා වැඩි වීමක් ඇතිවුවහොත් රථය වංගුවෙන් පිටතට ගමන් ගැනීමට උත්සාහයක් දරයි. එම අවස්ථාව රථයෙහි ආරක්ෂාවට තර්ජනයක් ඇතිකරන්නක් වේ. එබැවින් එවැනි අවස්ථාවක් ඇතිවීම රථය තුළින් ම වළකාලීම සඳහා මෙම පද්ධතිය මගින් වංගුවකදී රථයෙහි රෝදවල වේගය නියමාකාරයෙන් නිවැරදිව පාලනය කරනු ලබයි. එමෙන්ම සමහර eclipse cross රථයන් Super All Wheel Control (S – AWC) පද්ධතියක් සහිතව ද නිර්මාණය කර ඇත.

 



Lane Departure Warning (LDW)


රථය රියදුරා ගේ පාලනයෙන් තොරව ධාවන මංතීරුවෙන් වෙනත් මංතිරුවකට ගමන් කරන අවස්ථාවකදී රියදුරාට අවදානම් සංඥාවක් ලබා දීම මෙම පද්ධතිය මගින් සිදු කරයි. යම් හෙයකින් රියදුරුට නින්දයාමකදී හෝ වෙනත් හේතුවක් නිසාවෙන් මෙවන් අවස්ථාවක් ඇති විය හැක. මෙහිදී රථය මගින් Beep සංඥාවක් හා අවදානම් සංඥාවක් Meter cluster එක මත ඇතිකරනු ලබයි. එය රියැදුරුට නැවතත් රථයෙහි පාලනය සියතට  ලබා ගැනීමට වැදගත් වේ. මෙහිදී සිදුවනුයේ රථයෙහි ඉදිරිපස ඇති කැමරාවක් මගින් රථය ගමන්ගන්නා මංතීරුවෙහි ඇති සුදු ඉරි පිළිබඳව අවධානයෙන් සිටීමයි. රථයෙහි Signal (පැති සංඥා) ක්‍රියාත්මක නොකර සුදු ඉරි හරහා රථය ගමන් ගන්නේ නම් රථය මගින් මෙලෙස සංඥා කිරීම සිදු කරනු ලබයි. Signal (පැති සංඥා) ක්‍රියාත්මක කරමින් සිදුකරනු ලබන හැරවිමකදී මෙම පද්ධතිය මගින් සංඥා නිකුත් නොකරයි. තවද  මෙම පද්ධතිය ක්‍රියාත්මක වනුයේ සුදු ඉරි සහිත මාර්ගයන්හි පමණි.



 

Head Up Display (HUD)


රථයක් ධාවනයේදී meter පුවරුවේ ඇති සංඥා පිළිබඳව රියදුරා අවධියෙන් සිටීම ඉතා වැදගත් වේ. එමෙන්ම එම තොරතුරු කියවා බැලීමට රියදුරුට බොහෝ විට meter පුවරුව දෙස වරින් වර බැලීමට ද සිදුවේ. එය තරමක් දුරට අවධානම් සහිතවේ. මෙම පද්ධතිය මගින් සිදු කරනුයේ රියදුරුට අත්‍යවශය වන ප්‍රධාන සංඥා projector එකක් ආධාරයෙන් ඉදිරියේ ඇති වීදුරු තිරය වෙත ලබා දීමයි. රථයෙහි හි වේගය, cruise control active තත්වයෙහි පවතින්නේද නැතිද යන්න cruise control පද්ධතියෙහි සකසා ඇති වේගය adaptive cruise control පද්ධතියෙහි ඉදිරි වාහනය හා තබා ඇති පරතරය වැනි ඉතා වැදගත් ම තොරතුරු මේ මේ මගින් රියදුරු වෙත ලබා දීම සිදු කරයි.එමනිසා මෙම පද්ධතිය මගින් රියදුරා වරින්වර meter පැනල දෙස බැලීම වලක්වන අතර ආරක්ෂාකාරී ධාවනයකට මෙය ඉතා වැදගත් වේ.

 

Auto headlights


රථය දහවල් කාලයේ දී වැඩි ආලෝක තත්ත්වයක ධාවනය වෙමින් තිබියදී ක්ෂණිකව අඳුරු ස්ථානයකට ඇතුළු වූයේ නම් උදාහරණයක් ලෙසට උමං මාර්ගයකට (Tunnel) ඇතුළු වූයේ නම් එහි දී රියැදුරාට ස්වල්ප වේලාවක් යන තුරු උමං මාර්ගය තුළ දැඩි අඳුරු සභාවයක් පවතී. මෙය විශාල අනතුරක් ඇති වීමටද හේතු වියහැක. එබැවින් එය වළක්වා ලීම සඳහා මෙම රථය මගින් ක්ෂණිකවම ඉදිරි ප්‍රධාන විදුලි පහන්  ක්‍රියාත්මක කිරීම ස්වයංක්‍රියවම සිදු කරයි.

 

Automatic High Beam (AHB)


රාත්‍රී කාලයේ රථය ධාවනය කිරීමේදී High beam ක්‍රියාත්මකව ඇති අවස්ථාවක ඉදිරියෙන් වෙනත් රථයක් පැමිණෙන්නේ නම් අප විසින් වහාම රථයෙහි ආලෝකය පහළට හැරවීම (Low beam) සිදු කළ යුතුය. ඒම ආලෝකය පහළට හැරවීමෙන් පසු  නැවතත් එම රථය අප පසුකර ගිය පසු අප විසින් නැවතත් ප්‍රධාන විදුලි පහන් ආලෝකය ඉහලට හැරවීම සිදු කළ යුතුය. මෙලෙස බොහෝ දුරක් රථය ධාවනය කිරීමේ දී මෙය තරමක් කරදරකාරී ක්‍රියාවලියක් වේ. නමුත් මෙම Automatic High Beam (AHB) පද්ධතිය මගින් ඉදිරියෙන් යම් රථයක් පැමිණෙන විට හෝ අප ඉදිරියෙන් යම් රථයක් ගමන් ගන්නා අවස්ථාවක අප එම රථයට වඩාත් ආසන්න වූ අවස්ථාවක දී ස්වයංක්‍රියවම ඉදිරි ප්‍රධාන විදුලි පහන් පහලට නාභිගතවීම (Low beam)  සිදුවේ. නැවතත් එම අවස්ථාව මඟ හැරීමෙන් පසුව ස්වයංක්‍රියවම විදුලි පහන් ආලෝකය ඉහලට හැරීම (High beam) සිදුවේ.

 

Blind Spot Warning (BSW)


රථයක ධාවනයේදී අපි නිරන්තරයෙන්ම පැති කන්නාඩි වලින් පසුපස බැලීම සිදු කරයි. නමුත් ඕනෑම රථයක මෙම පසුපස කණ්නාඩි වලින් ආවරණය නොවන්නා වූ කලාපයක් (Blind spot area) පවති. එම කලාපය තුල යම් රථයක් හෝ පුද්ගලයෙක් සිටියේනම් මෙම රථය හැරවීමේදී අනතුරක් ලක් වීමට වඩා වැඩි ඉඩකඩක් ඇත. එම අවධානම අඩු කිරීම සඳහා මෙම රථය ධාවනයේ දී රථය පිටුපසින් තවත් රථයක් පැමිණෙන අවස්ථාවකදී, එය අපට නොපෙනෙන කලාපයෙහි පවතින අවස්ථාවකදී වහාම රියදුරාට සංඥාවක් මගින් දැන්වීම මෙම පද්ධතිය මගින් සිදු කරයි. ක්ෂණික හැරවීමකදී අනතුරක් වළක්වා ගැනීමට මේ පද්ධතිය ඉතාම වැදගත් වේ.

 

 

Rear Cross Traffic Alert (RCTA)


මෙහිදී රථය Parking එකක හෝ එවන් ස්ථානයක නවතා ඇති අවස්ථාවකදී රථය ඉන් ඉවතට ගැනීම සඳහා පිටුපසට ධාවනය කරන්නේ නම් රුපසටහනේ ආකාරයට වාහන කිහිපයකට ඈතින් හෝ ඉන් පිටත අපට නොපෙනෙන ස්ථානයක සිට අප සිටින දිශාවට තවත් රථයක් පැමිණෙන්නේ නම් මෙම පද්ධතිය මගින් වහාම රියදුරාට අනතුරු සංඥාවක් මාර්ගයෙන් දැනුන්දීම සිදු කරනු ලබයි. මෙම පද්ධතිය ද අනතුරු වළක්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.

 

Ultrasonic misacceleration Mitigation System (UMS)


රථය යම් තාප්පයකට හෝ බාධකයට ඉතාම ආසන්නයෙන් නවතා ඇති මොහොතක අප විසින් නොදැනුවත්ව හෝ රථය ගියරය  D අවස්ථාවට යොමු කොට Acceleratorය ක්‍රියාත්මක කළේ නම් විශාල අනතුරක් සිදු වීමට අවස්ථාවක් ඇත. නමුත් මෙම පද්ධතිය මගින් එවන් වූ අවස්ථාවක දී රථය D ගියරයෙහි පිහිටියද ඉදිරියෙන් යම් බාධකයක් පවතින්නේ නම් වහාම තිරිංග පද්ධතිය හා එන්ජිම පාලනය කිරීමෙන් රථය ඉදිරියට ධාවනය වීම වළක්වාලයි.

 

Hill Start Assist (HSA)


විශාල කන්දක රථය නවතා නැවත ධාවනයට යොමු වීමේදී ගියරයට D අවස්ථාවට යොමු කොට තිරිංග නිදහස්කොට Acceleratorය ක්‍රියාත්මක කිරීමට යනවාත් සමගම රථය ක්ෂණිකව පසුපසට ගමන් කිරීම (විශාල කන්දක රථය පැවතීම හේතුවෙන්) සිදුවේ. මෙහි දී ද අනතුර සිදුවීමට වස්ථාවක් ඇත. මෙම පද්ධතිය මගින් සිදුකරනුයේ ගියරය D අවස්ථාවට යොමු කිරීමෙන් අනතුරුව අප විසින් Brake පැඩලයෙන්  කකුල ගැනීමෙන් පසු තප්පර දෙකක පමණ කාලයක් Brake පද්ධතිය ආධාරයෙන් රථය පසුපසට නොයන ආකාරයට Brake කොට තබා ගැනීමයි. එහිදි රියදුරුට Acceleratorය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කාලය ප්‍රමාණවත් පරිදි ලැබේ.

 

 

SRS Airbags

අනතුරකදී රියදුරුගේ හා අනෙක් මගීන්ගේ ආරක්ෂාව සඳහා මෙම රථයේ Airbag පද්ධතියක් ඇතුළත්කොට  ඇත (Airbag system පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් මින් පෙර මෙහි පළකර ඇත) අනතුරකදී රියදුරු සහ මගීන් seat belt එක ආධාරයෙන් පසුපසට ඇද, අසුනට තදකර තබාගැනීම සඳහා මෙම රථයේ seat belt සඳහා pretensioner තාක්ෂනය භාවිතා කර ඇත.

 

Rain sensor


රථය ධාවනයේ දී වැසි සහිත අවස්ථාවක් ඇති වූයේ නම් ස්වයංක්‍රියව රථයේ Wipers ක්‍රියාත්මක වීම මෙම පද්ධතිය මගින් සිදුකරනු ලබයි.

 

Power panoramic sunroof


මෙම රථයේ තවත් සුවිශේෂී අංගයක් ලෙස මෙම Power panoramic sunroof හැඳින් විය හැක. මෙමගින්  රථයෙහි ගමන් ගන්නා පිරිසට, අවට ප්‍රදේශය වඩාත් හොඳින් දැක ගැනීමට අවස්ථාව හිමිවේ.

 

Electric Parking Brake with Brake Auto Hold


මෙම රථයෙහි Parking break සඳහා විශාල ප්‍රමාණයේ ලීවරයක් නොමැති අතර එය ඉලෙක්ට්‍රොනික ස්විච්යක්  ආධාරයෙන් ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කල හැකි ආකාරයට නිර්මාණය කර ඇත. එමෙන්ම Seat belt පැළඳ ගියරය D අවස්ථාවට යේදීමෙන් පසු, Acceleratorය ක්‍රියාත්මක කිරීමත් සමගම ස්වයංක්‍රියව Parking brake ක්‍රියාවිරහිතවීම ද ධාවනය වඩා පහසු කරන්නකි.

තවද මාර්ග තදබදය සහිත මංමාවත් වල ධාවනයේ දී නිතර නිතර Parking brake ක්‍රියාත්මක කිරීමට සිදුවීම හෝ Brake පැඩලය එක දිගට පාගාගෙන සිටීමට සිදුවීම වඩා කරදරකාරී තත්වයක් ඇතිකරන්නකි. එබැවින් එම ගැටලුව මගහැරීම සඳහා මෙම රථයේ Auto hold පද්ධතිය උපකාරී වේ. එහිදී අප එකවරක් Auto hold පද්ධතිය ක්‍රියාත්මක  කිරීමෙන් පසු මාර්ග තදබදය ඇති අවස්ථාවක දී සම්පූර්ණයෙන්ම රථය නතරවනවාත් සමගම ස්වයංක්‍රියවම Parking brake ක්‍රියාත්මක වීම සිදුවේ. නැවතත් අප Acceleratorය ක්‍රියාත්මක කරනවාත් සමගම parking brake ස්වයංක්‍රියවම ක්‍රියාවිරහිතවීම සිදුවේ.

 

Keyless Operation System (KOS) with Immobilizer


රථයට ඇතුළුවීමට, Dickey door open කිරීමට, රථය පණගැන්වීමට හා සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම වැනි සියලු කාර්යයන් සඳහා යතුර අතට ගැනීමක් අවශ්‍ය නොවන ආකාරයේ Smart key system හෙවත් Keyless Operation System (KOS) පද්දතියක් මෙම රථයට එක්කොට ඇත. එබැවින් එදිනෙදා රථය භාවිතයේදී වඩා පහසුවක් දැනේ.

රථය සොරගැනීම් වැනි අවස්ථා අවම කිරීම සඳහා මෙම රථයට දියුණු Immobilizer පද්ධතියක් සහිත Intelligent key එකක් භාවිතාකොට ඇත.

 

Dual zone climate control


ඉදිරිපස රියදුරුට සහ අනෙක් පුද්ගලයාට වෙන වෙනම තම අවශතාවය පරිදි වායු සමීකරනයෙහි උෂ්ණත්වය පාලනය කළ හැකි ආකාරයට මෙම රථය නිර්මාණයකොට ඇත. එමගින් ඇතුලත සුවපහසුව තවත් වැඩි කරයි.


Bird eye view


රථය පිටුපසට ධාවනය කිරීමේ දී වැඩි ආරක්ෂාවක් සඳහා රථය දෙස ඉහල සිට බලන ආකාරයට අංශක 360 ක පරාසය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි කැමරා කෝණ  මගින් සුපැහැදිලි  දර්ශනයක් මෙහි සමහර මාදිලියන් ගේ ලබා දේ. එබැවින් රථය ආරක්ෂාකාරීව පසට ධාවනය කිරීමට එය පහසුවක් වේ. එමෙන්ම රථය ඉදිරියට ධාවනයේදී ද මින් සමහර කැමරා කෝණ මගින් දර්ශන ලබා ගැනීමේ හැකියාව නිසා රථය ආරක්ෂාකාරීව මෙන්ම පහසුවෙන් Park කිරීම සිදු කළ හැක.

Comments

  1. මේකේ agent ලංකාවට ගෙන්වන model එකේ option අඩුයි නේද?

    ReplyDelete
  2. Bird eye view, Rear Cross Traffic Alert (RCTA), Blind Spot Warning (BSW), Adaptive Cruise Control (ACC) වැනි සමහර options මෙම රථයේ brand new මාදිලියේ නොමැත.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Wheel Alignment

EFI ක්‍රියාකාරීත්වය සරලව...

CVT Gear Box

ABS ක්‍රියාකාරිත්වය

TIRE

Air Bag System

DFSK - 580 SUV

හැඩට.. වැඩට.. ගමනට.. කදිම MITSUBISHI - Attrage රථය