Cool Blue Outer Glow Pointer
AUTO TOP
Loading...

Tuesday, July 3, 2012

Wheel Alignment


රථයක ධාවනයට Wheel Alignment ඉතාම වැදගත් වේ. රෝද නිවැරදි කෝණයන්ට අනුරූපව එකලස්ව පිහිටිය යුතු අතර එසේ නොපිහිටන්නේ නම් එය නිවැරදි කිරීම නොපමාව සිදුකල යුතු වේ. එමෙන්ම මෙම කෝණයන් නිවැරදි අගයේ නොපැවතියහොත් රථය ධාවනයේදී අනාරක්ෂිත තත්වයට පත්වෙනවා සේම රෝද, අවලම්බන පද්ධතියේ (Suspension System) කොටස් වලට, සුක්කානම් පද්ධතියේ (Steering System) කොටස් වලට හානී වීමද සිදුවිය හැක. එබැවින් රථයක ධාවනයට ඉතාම වැදගත් වන්නා වු Wheel Alignment පිලිබදව මෙම ලිපියෙන් සාගච්චා කෙරේ.

Wheel Alignment පිළිබදව සැලකීමේදී Wheel alignment එකක් සිදුකලයුතු කාලය පිළිබදව සැලකිලිමත් වීමද ඉතාම වැදගත් වේ. බොහෝ නිශ්පාදකයින්ට අනුව 5000Km වරක් Wheel Alignment සැකසීමක් සිදුකලයුතු අතර අලුතින් Tire යොදන අවස්ථාවන්හිදී මෙන්ම අවලම්බන පද්ධතියේ (Suspension System) කොටස් හා සුක්කානම් පද්ධතියේ (Steering System) සමහර කොටස් ගලවා නැවත සවිකිරීමෙන් පසුද මෙලෙස wheel alignment සැකසීමක් සිදුකලයුතු වේ.

Wheel Alignment වලට අදාලව රෝද සැකසුම් කෝණයන් සහ අනිකුත් සැකසුම් අගයන් පිලිබදව මෙහි දක්වා ඇත.
   * Camber Angle
   * Caster Angle
   * Toe
   * King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI)
   * Included Angle
   * Caster Trail / Caster Offset
   * Scrub Radius
   * Turning Angle of the Front Wheel / Toe Out on Turns
   * Set Back
   * Thrust Angle
   * Side Slip

* Camber Angle

Camber Angle යනුවෙන් අදහස් කරනු ලබන්නේ රෝදය පොළවට ලම්බක රේඛාවට කොපමන ආනතියකින් පිහිටනවාද යන්න වේ. Camber කෝණය පැහදිලිව දැකගත හැක්කේ රථයේ ඉදිරිපසින් රෝද නිරීක්ෂණය කිරීමෙනි. ඉහත රූපයේ පොළවට ලම්බක රේඛාව Vertical Line යනුවෙන් දක්වා ඇති අතර රෝදය ආනතව ඇති දිශාව රතු රේඛාවෙන් දක්වා ඇත. රෝදය ඉහලින් ඇතුලට ආනතියක් සහිතව පිහිටයි නම් එය Negative Camber ලෙසද, රෝදය ඉහලින් පිටතට ආනතියක් සහිතව පිහිටයි නම් එය Positive Camber ලෙසද හදුන්වනු ලබයි. බොහෝ රථවල දැකිය හැක්කේ Positive Camber අගයකි. එනම් රෝදය ඉහලින් පිටතට ආනතව පිහිටා ඇත. මෙලෙස ආනතව පිහිටීම හේතුවෙන් රෝදය Knuckle Arm එක හා හොදින් සම්බන්ධව පවතී. එමනිසා රථයේ ස්ථායි භාවය (Stability) පවත්වා ගැනීමට මෙම Camber Angle එක බෙහෙවින් ඉවහල් වේ. සමහර විශේෂිත වු රථ Negative Camber අගයක් සහිතව ද නිර්මාණය කර ඇත. ඒ තුලින් Rolling Movement එක අඩුකරගැනීමට උත්සහ කර ඇත.
කෙසේ වෙතත් මෙම Camber අගය නිෂ්පාදකයා දක්වා ඇති අගයට අනුරූපව පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වේ.

* Caster Angle

මෙහිදී රථයේ බර රෝද වෙත ක්‍රියාකරනු ලබන අක්ෂය ඉදිරියට ආනතියක් සහිතව නිර්මාණය කර ඇත. එමගින් රථයේ බර මගින් බලයක් ඉදිරියට යොමුකරගෙන ඇත. මෙම හේතුවෙන් රථය පහසුවෙන් ඉදිරියට චලනය කරවාගත හැක. විවිධ වූ රථයන්ගේ විවිධ වූ අවලම්බන පද්ධතීන්ගේ නිර්මාණයන් මත මෙම රේඛාව නිර්මාණය වන්නා වූ ආකාරයන් වෙනස් වුවද සෑම රථයකම Caster කෝණය නිර්මාණය කර ඇත. තේරුම් ගැනීමේ පහසුව සදහා Mc pherson strut ආකාරයේ Suspension System එකක් සහිත රථයක Caster Angle එක පිහිටා ඇති ආකාරය පහතින් දක්වා ඇත.

රෝදය පොළවට ස්පර්ෂ වන ස්ථානයට වඩා ඉදිරියට මෙම රේඛාව යොමුකර ඇත්නම් එය Positive Caster ලෙස සලකනුලබන අතර රේඛාව පසුපසට යොමුවී ඇත්නම් එය Negative Caster ලෙසද සලකනු ලබයි. වර්තමානයේ බොහෝ රථයන් සදහා Positive Caster යොදාගනු ලබන අතර අතීතයේදී සමහර රථයන් සදහා Negative Caster යොදාගෙන ඇත.
මෙලෙස Positive Caster Angle එකක් නිර්මාණය කිරීම හේතුවෙන් පහසුවෙන් රෝද ඉදිරියට පෙරලීමට හැකිවනවා සේම රෝද එක එල්ලේ ධාවනය කිරීමේ හැකියාවද, අඩු ආයාසයකින් සුක්කානම හැසිරවීමේ හැකියාව ලැබී ඇත.

* Toe

රථයක ඉදිරි රෝද ඉදිරියෙන් සමීපව පිහිටයි නම් එය Toe in ලෙස සලකනු ලබන අතර රෝද ඉදිරියෙන් ඈත්ව පිහිටයි නම් එය Toe out ලෙසද සලකනු ලබයි. ඉහත රූපසටහනින් එය වඩාත් පහැදිලිවේ. රථයක් ධාවනය වීමෙදී රෝද සමාන්තරව පැවතිය යුතුය. නමුත් රථයක් නවතා තබා ඇති අවස්ථාවක එහි රෝද සමාන්තරව පිහිටවනු ලැබුවහොත් එම රථය ධාවනයෙදී Suspension System එක හා සම්බන්ධිතව පවතින රබර් කොටස් හේතුවෙන් එම රථයේ රෝද Toe in හෝ Toe out ආකාරයේ පිහිටීමකට ලක්වේ. මෙලෙස රෝද ඈත්වීම හෝ සමීප වීම තීරණය වනු ලබන්නේ රථයට එලැවුම ලබාදෙන්නේ ඉදිරි රෝදයන්ගෙන්ද, පසුපස රෝදයන්ගෙන්ද යන්න මත සහ Suspension System එකෙහි සැකැස්ම මත වේ. එබැවින් එයට අනුරූපව රෝදයේ සිදුවන වෙනස්වීම වලක්වාගතයුතු වේ. එබැවින් යම් රථයක් ධාවනය වීමෙදී එහි Toe out එකක් නිර්මාණය වීමක් සිදුවන්නේ නම් එය වලක්වා ගැනීම සදහා එනම් ධාවනයෙදී රෝද සමාන්තරව පවත්වා ගැනීම සදහා එම රථය නවතා ඇති අවස්ථාවේදී රෝද Toe in ආකාරයට සැකසීම සිදුකරනුලබයි. එලෙසම රථයක් ධාවනය වීමෙදී එහි Toe in එකක් නිර්මාණය වීමක් සිදුවේනම් එය වලක්වා ගැනීම සදහා එනම් ධාවනයෙදී රෝද සමාන්තරව පවත්වා ගැනීම සදහා එම රථය නවතා ඇති අවස්ථාවේදී රෝද Toe out ආකාරයට සැකසීම සිදුකරනු ලබයි. එබැවින් Toe in හෝToe out අගය නිෂ්පාදකයා ලබදී ඇති අගයේ පවත්වා ගැනීම ඉතාම වැදගත් වේ.
එමෙන්ම එක් රෝදයක Toe අගය Individual Toe ලෙසද රෝද දෙකෙහිම අවසාන Toe අගය Total Toe ලෙසද සලකනු ලබයි.


* King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI)

රියදුරා විසින් සුක්කානම ක්‍රියාත්මක කිරීමේදී රෝදයෙහි හැරවීම සිදුවන්නා වූ අක්ෂය හා පොළවට ලම්භක තලය අතර ඇති කෝණය King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI) නමින් හදුන්වයි. මෙම හැරවුම් අක්ෂය පොළවට ලම්භකව නිර්මාණය නොකරන අතර මෙලෙස යම් ආනතියක් සහිතව පිහි‍ටුවා ඇත. රථය ධාවනය වන අවස්ථාවකදී සුක්කානම හැරවීමෙන් පසු නැවතත් සුක්කානම මුල් පිහි‍ටුමට ස්වයංක්‍රියවම ගෙන ඒම මෙම කෝණය මගින් සිදුකරන ප්‍රධානම කාර්‍යය වේ. එමෙන්ම රථයක පවතින ප්‍රබලම කෝණය මෙය වන අතර එයට හේතුවනම් රථයේ බර මෙම කෝණය වෙත ක්‍රියත්මකවීම වේ. (මෙම කෝණයේ ක්‍රියාකාරීත්වය ප්‍රායෝගිකව නිරීක්ෂණය කලහැකි අවස්ථාවක් නම් රථය නතරකොට සුක්කානම එක්දිශාවකට හැරවීමේදී රථයේ ඉදිරිකොටස ක්‍රමානුකූලව ඉහලට එසවෙන ආකාරය දැකගත හැක).

* Included Angle


Included Angle යනු King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI) සහ Camber Angle යන කෝණයන් දෙකෙහි එකතුව වේ. ප්‍රබල අනතුරකින්පසු Alignment කෝණ නිවැරදිව සැකසීම සදහා මෙම අගයන් වැදගත් වේ.

* Caster Trail / Caster Offset

Caster Trail හෙවත් Caster Offset යනුවෙන් හදුන්වනු ලබන්නේ Caster කෝණය ක්‍රියාත්මක කරණු ලබන රේඛාව පොළොව හා ස්පර්ෂ වන ස්ථානය, රෝදයේ පොළොව හා ස්පර්ෂවන ස්ථානයේ මධ්‍ය ලක්ෂයට අති දුර වේ. Caster කෝණය වැඩි වනවිට Caster Trail / Caster Offset අගයද වැඩි වේ.

* Scrub Radius

Scrub Radius යනුවෙන් හදුන්වනු ලබන්නේ පොළොව මතුපිටදී, එනම් ටයරය පොළොව හා ස්පර්ෂ වන ස්ථානයේදී King Pin Inclination / Steering Axis Inclination (SAI) කෝණය සාදනු ලබන රේඛාවත් Camber කෝණය සාදනු ලබන රේඛාවත් අතර පවතින දුර වේ. මෙහි ඇති වැදගත්කම නම් රෝදය හැරවීමෙදී රෝදය ගමන් කරනු ලබන්නේ මෙම දුර අරය කරගත් පථයක වීමයි. මෙම Scrub Radius අගය ප්‍රධන ආකාරයන් තුනකින් පවතී. එනම් පොළොව මතුපිටදී රේඛා දෙක අතර දුරක් පවතී නම් එය Positive Scrub Radius යනුවෙන්ද, රේඛා දෙක පොළොව මතුපිටදී හමුවේ නම්, එනම් රේඛා දෙක අතර දුරක් නොමැති නම් එය Zero Scrub Radius යනුවෙන්ද, මෙම රේඛා දෙක පොළොවට ඉහලින් හමුවේ නම් එය Negative Scrub Radius යනුවෙන්ද හදුන්වයි.


* Turning Angle of the Front Wheel / Toe Out on Turns

රථයක රෝද හැරවීමේදී එම රෝද හැරවෙනුයේ සමාන්තරගතව නොවේ. එයට හේතුව නම් රථයක් එකම ලක්ෂයක් වටා හැරවීමට නම් එම රථයේ රෝද සියල්ලම එම ලක්ෂය වෙත කේන්ද්‍රගත විය යුතුය. මෙලෙස රෝද සියල්ලම එකම ලක්ෂයක් වටා කේන්ද්‍ර ගත වීමට නම් වංගුවකදී, වංගුව ඇතුළු පැත්තේ රෝදය වැඩිපුර හැරවීමක් සිදුකිරීම අවශ්‍යය වේ. මෙම හැරවීමේ අගය ඉතාම නිවැරදිවිය යුතුය. මෙලෙස වංගුව ඇතුළු පැත්තේ රෝදයේ වැඩිපුර හැරවීම සෑම කෝණයක් සදහා ම නිවැරදිව සිදුකිරීම සදහා ackerman principle නම් යාන්ත්‍රණයක් භාවිතා කර ඇත. මෙම ackerman යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ දැයි මැන බැලීමක් මෙලෙස Alignment පරික්ෂාවක්දී Turning Angle of the Front Wheel / Toe Out on Turns මැනීමෙන් සිදුකරනු ලබයි.


* Set Back

වම් පස හා දකුණු පස රෝද එකම රේඛාවක නොපිහිටීම Set back යනුවෙන් හදුන්වයි.මෙලෙස Set back අගයෙහි වෙනස්වීම මත Wheel base අගයෙහිද වෙනස්වීම් සිදුවේ. සාමාන්‍යයෙන් මෙම Set back අගය උපරිම වශයෙන් පැවතිය හැක්කේ 12 mm පමණ වන අතර එය 0 mm වන්නේ නම් වඩා නිවැරදි වේ.


* Thrust Angle

ඉදිරි පස හා පසුපස රෝද එක එල්ලේ නොපිහිටන අවස්ථාවක දී Thrust Angle එකක් නිර්මාණය වේ. එවිට රථය පැත්තකට ඇදීමක්ද සිදුවිය හැක. එබැවින් Alignment සැකසීමේ දී Thrust Angle එක ගැනද සැලකිලිමත් වීම වැදගත්වේ.

* Side Slip
මෙම Side Slip අගය මැන බැලීම සදහා විශේෂිත වූ උපකරණයක් අවශ්‍යයවේ. එය Side Slip Tester යනුවෙන් හදුන්වනු ලබයි. යම් හෙයකින් රථයක් පැත්තට අදින්නේ නම් එය පැත්තට අදිනු ලබන ප්‍රමාණය මෙමගින් මැනගත හැක. එය m/Km හෝ mm/m යන ඒකකයන්ගෙන් මැනගත හැක.

16 comments:

idilanw said...

මම මේක හරිම ආසවෙන් කියෙව්වෙ මාර වැදගත්... එල කිරි වැඩක්. දිගටම කරමු. ;)

Viraj said...

Really a good article. This is the first time I saw about such article in Sinhala.

nuwan blog said...

Thanks.... All.......!!

HI CORP. said...

good post bro.thanks a lot!

රූ.... said...

වැදගත් ලිපියක්..

5000km වලින් වීල් අලයින්මන්ට් වෙනස් වෙන්නෙ ඇයි..? ටයරයේ ගෙවීම නිසාද?

nuwan blog said...

රථයක් 5000 Km පමන ධාවනය වීමේදී එහි ටයරයන්ගේ ගෙවීයාම මෙන්ම අවලම්බන පද්ධතියේ Suspension System හා සුක්කානම් පද්ධතියේ Steering System හි යම් යම් වෙනස් වීම් සිදුවිය හැක. මෙම වෙනස්වීම් තත්වයන් යටතේ දිගින් දිගටම ධාවනය සිදුකිරීමෙන් ටයරයන්ට, සුක්කානම් පද්ධතියේ Suspension System හා අවලම්බන පද්ධතියේ Steering System කොටස් වලට හානිසිදුවිය හැක. එ බැවින් නිශ්පාදකයා සෑම 5000 Km වරක්මAlingment පරික්ෂාවක් සිදුකර ගැනීම වඩා වැදගත් බව දක්වා ඇත.

chandana Thushara said...

mage car eka 15000km duwala may lipiya kiyewwama tamay wedagathkama therune hetama alingment karaganna ona.thanks

gayanathnet said...

wooow.. niyamai... digatama liyanna...

Anuradha Ekenayake said...

මෙ ලිපිය හරිම වැදගත්. මට ගැටලුවක් තියෙනවා,

1. wheel alignment කරන බොහොමයක් තැන් වලින් එක් වරක් wheel alignment කලාට පස්සෙ නැවත 2000km කින් කරන්න කියන්නෙ ඇයි?

2. alignment එක හරියට කලේ නැත්නමි steering wheel or axle එක දෙදරීමකට ලක් වෙනවා ද?

nuwan blog said...

@ Anuradha Ekanayana.
1. සුක්කානම් පද්ධතිය හා අවලම්භන පද්ධතිය (Suspension System) නිවැරදිව පවතීනම් හා නිවැරදිව Alignment සිදුකලේ නම් 5000 Km වරක් Alignment සිදු කිරීම සෑහේ.

2. Steering Wheel එක දෙදරීමකට ලක්වීමට හේතුව වන්නේ Alignment සැකස්මේ වරදකට වඩා Wheel Balancing නියමාකාරයෙන් සිදුනොකිරීම වේ. Wheel Balancing සිදුකිරීමකදී රෝදය Static & Dynamic යන දේආකාරයේම Balance කිරීමකට ලක්වේ.

Anuradha Ekenayake said...

බොහොම ස්තූතියි ඔබගේ පිලිතුරට.ජයවෙවා.

Anuradha Ekenayake said...

මම ලගදී wheel alignment එකක් කරා.පසු දිනක මට සැකයක් ඇතිවුනා රෝද වල වායු පීඩනය පිලිබදව.මොකද alignment කරන්න කලින් ඔවුන් ටයර වලට හුලං ගැසුවා. මම ලගම ඇති පිරවුමි හලකින් වායු පීඩනය චෙක්කරා.එවිට තිබුනෙ සමිමත ප්‍රමාණයට වඩා වැඩියෙන් 37 ක් හා 39 ක් ලෙස( මගේ වාහනයට තිබිය යුත්තේ 28 ක්).අවශ්‍ය ප්‍රමාණයට සකස් කළ පසු 40Km අඩු වේගයන් වලදී Steering wheel එක Bubble කිරීමට ලක්වෙනවා.alignment කල ස්ථානයෙන් විමසු විට ඔවුන් කියනවා ටයර වල කමිබි ඇතුලතින් කැඩී ඇති නිසා එසේ වන බව.එසේ විය හැකිද?

nuwan blog said...

ප්‍රමානය ඉක්මවා හුලං යෙදීම සුදුසු ක්‍රියාවක් නොවේ. Tire කම්බි කඩීම නිසාද මෙලෙස සිදුවිය හැක. නමුත් පළමුවෙන්ම Wheel Alignment එකක් සිදුකර බැලීම වඩා හොදවේ.

Anuradha Ekenayake said...

ස්තූතියි ඔබට.

Anonymous said...

Excellent ................. Thank you very much !!!!!!!!!!!
Keep the good work ahead

Chathura Maduranga said...

Great work,Congratulation,Thanks

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Autotop.blogspot.com | Bloggerized by - K.A.Nuwan Chamara - Automobile Instructor (AETI)