Cool Blue Outer Glow Pointer
AUTO TOP
Loading...

Saturday, June 2, 2012

ABS ක්‍රියාකාරිත්වය


ABS ක්‍රියාකාරිත්වය සරලව හදුනා ගැනීම මෙමගින් බලපොරොත්තුවෙ.
මෙහිදි මාතෘකා කිහිපයක් යටතේ ABS පද්දතිය පිලිබදව සාගච්චා කරනු ලබයි.

1. Purpose
2. ABS Function
3. System Construction
4. Slip Ratio
5. Operation
6. Sensor
7. Safety Precaution

1. Purpose                                                                                                                                             
ABS පද්ධතියක් මෝටර් රථයකට යෙදීමෙන් බලාපොරොත්තු වන්නාවූ ප්‍රධාන කාර්යයන් 4 ක් පවති.

1. රථය පොලව මතුපිට ලිස්සායාමකට ලක් නොවන ආකාරයෙන් නතර කර ගැනීම.
2. තිරිංග යොදන අතරතුරෙහිද සුක්කානම් පාලනය (Steering Control) පවත්වා ගැනීම.
                   (සුක්කානම් පාලනය යනු තිරිංග යොදන අතරතුරෙහිද සුක්කානම ආධාරයෙන් රථය පාලනය කිරීමේ හැකියාව වේ. එනම් අනතුරක් සිදුවන අවස්ථාවකදී රියදුරා විසින් තිරිංග යෙදීමට අමතරව සුක්කානම ආධාරයෙන් රථය බාධකයෙන් ඉවතට ගැනීමේ උත්සහයකද යෙදේ. මෙය අනතුරක් වලක්වා ගැනීමට අවශය කරන තවත් වැදගත් සාධකයකි. ABS නොමැති රථයක මෙම හැකියාව නොමැත. එයට හේතුව නම් රියදුරා විසින් සුක්කානම ආධාරයෙන් රෝද හැරවීමක් සිදුකලද රෝද සිරවී ඇත්නම් රථය, රියදුරාට අවශ්‍යය දිශාවට ගමන් කරවීමට නොහැකි වීමයි)

3. රථයේ ස්ථායිතාවය පවත්වාගැනීම
                (යම් හෙයකින් රෝද සිරවීමකට ලක්වූයේනම් රථය පොලව මත ඇදී යාමෙදී රෝද හතර මත ඝර්ශණ අවස්ථා හතරක් ක්‍රියාත්මක වියහැක. එවිට වැඩිම ඝර්ශණයක් ඇති රෝදය වටා ගුර්ණයක් ඇතිවීමේ හැකියාවක් පවති. ABS පද්දතිය මගින් මෙම අවාසිය වලක්වා ඇත)

4. අඩුම දුරකින් රථය නවත්වා ගැනීම.
                (ABS පද්දතියක් සහිත රථයක් ABS නොමැති රථයකට වඩා අඩු දුරකින් නතර වීමේ හැකියාවක් ඇත. එයට හේතුවනම් ABS සහිත රථය වැඩිම ඝර්ශන අවස්ථාවකට ලක්වීම වේ. රෝදය ලිස්සා යාමත් සමගම Brake නිදහස් කරන බැවින් හා දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවීම මගින් රෝද වැඩිම සීමකාරි ඝර්ශන අවස්තා සංඛ්‍යාවකට ලක්වේ)



2. ABS Function
ABS (Antilock Brake System) යන මුලික නාමයෙන්ම එහි ක්‍රියාකාරිත්වය පිළිබදව යම් අදහසක් ලබාගත හැක. එනම් -Antilock- රෝද සිරවීම වැලැක්වීම මෙමගින් සිදු කරනු ලබයී.රෝද සිරවීමකදී රථයකට සිදුවිය හැකි අවාසි කිහිපයක් ම පවතී. එනම් රොද සිරවී රථය ලිස්සයමක් සිදුවීම හේතුවෙන් රථයේ ස්ථයී බව (Stability) අහිමිවීම, සුක්කනම් පාලනය (Steering Control) අහිමිවීම, රථය නතර වීමට ගතවන දුර (Stopping distance) හා කාලය වැඩි වීම ආදිය දැක්විය හැක. එ බැවින් එම අවාසි මගහැරවා ගැනීම සදහා රොද සිරවීම වැලක්වීමට ක්‍රමයක් ABS පද්දතියේ යොදා ඇත. එනම් යම් රෝදයක් සිර වීමකට ලක්වුයේ නම් එම රෝදයෙහි Brake වහාම නිදහස් කිරිමයි. එවිට නැවතත් සිර වු රෝදය කරකැවීමට ලක් වීමෙන් රථය පොලව මතුපිට ලිස්සායාම වැලකී යයි. එමෙන්ම මෙලෙස Brake නිදහස් කරනු ලබු රෝදය නැවත කරකැවෙනවාත් සමගම නැවතත් එම රෝදයට Brake Apply කිරීම මෙම පදිධතිය මගින් සිදුකරනු ලබයි. මෙම ක්‍රියාවලිය තප්පරයට 11 වතාවක් පමණ සිදුවේ. එනම් යම් රෝදයක් සිරවීමකට ලක්වූයේ නම් එම රෝදයට කඩින් කඩ තිරිංග යෙදීමක් ABS ක්‍රමයේදී සිදුකරනු ලබයි. එබැවින් මෙම ABS ක්‍රමය හේතුවෙන් යම් රථයකට ඉහත සදහන් අවාසි මගහැර ගනිමින් අඩු දුරකින් ආරක්ෂාකාරීව නතරකර ගැනීමෙ අවස්ථාව හිමිවේ.



3. System Construction
පහත රූප සටහනින් දක්වා ඇත්තේ ABS නොමැති රථයක Brake පද්ධතියේ පිහිටීම වේ.

මෙම රූප සටහනින් ABS පද්ධතියක් සහිත රථයක කොටස් පිහිටීම දක්වා ඇත.

පහත රූප සටහනින් ABS පද්ධතියට අදාල වන්නා වු කොටස් පිහිටන සත්‍යය ස්ථාන දක්වා ඇත.




4. Slip Ratio
ABS පද්ධතිය පිලිබදව සැලකීමේදී Slip Ratio යනු සාගච්චා කළයුතු වැදගත් මාතෘකාවකි.
Slip Ratio යන්නෙන් අදහස් කරණු ලබන්නේ රෝදය පොළව මතුපිට කොපමණ ප්‍රතිශතයකින් ලිස්සා යනවාද යන්නයි. එනම් ABS සහිත රථයක් වුවද යම් ප්‍රතිශතයකට අදාලව පොළව මතුපිට යම් ලිස්සායාමක් පවති.

යම් රථයක් තිරිංග යෙදීමෙන් අනතුරුව රෝද සිරවීමෙන් දිගින් දිගටම පොළව මතුපිට ලිස්සා යන්නේ නම්, එම රථය තිරිංග යෙදීමෙන් අනතුරුව ගමන් කල මුළු දුරම ගමන් කර ඇත්තේ ලිස්සා යාම හේතුවෙන් බැවින් එවැනි තිරිංග යෙදීමක Slip Ratio අගය 100% ලෙස දැක්විය හැක.
(ABS නොමැති රථයක මෙය සිදුවේ. මෙලෙස Slip Ratio අගය 100% වු අවස්ථාවකදී රෝද සිරවීම හේතුවෙන් රථය ලිස්සායාම ඇතුලු ඉහත සදහන් සියලු අවාසි සිදුවේ.)

යම් රථයක් තිරිංග යෙදීමෙන් අනතුරුව රෝද සිරවීමකින් තොරවම ගමන් කර නතර වුයේනම් එවැනි අවස්තාවක Slip Ratio අගය 0% ලෙස දැක්විය හැක.
(නමුත් මෙවැනි අවස්ථාවකදි ඇති එකම අවාසිය නම් රථය නතරවීමට වැඩි දුරක් හා කාලයක් ගතවීමයි.)

එබැවින් රථයක් අඩුම දුරකින් හා අඩුම කාලයකින් ආරක්ෂාකාරීවම නතර වීමට අවශ්‍යය කරන්නා වු Slip Ratio අගය නිශ්පාදකයින් විසින් පරික්ෂණාත්මකව ගණනය කර ඇත. එම අගය 8%-35% අතර අගයක් ගනි.
(එක් එක් නිශ්පාදකයාගේ සහ එක් එක් Model වල Slip Ratio අගය එකිනෙකට වෙනස් වු අගයක් ගනී. නමුත් ඒ සෑම අගයක්ම මෙම පරාසය තුල පවතී.)
එබැවින් Slip Ratio අගය නියමිත පරාසය තුල පවත්වා ගැනීම ABS පද්ධතියේ කාර්යය වේ.


5. Operation

ABS පද්ධතියක් පරිගණකයක් (E.C.U) හා Actuator ආධාරයෙන් පාලනය වන අයුරු සරලව ඉහත රූපසටහනින් දක්වා ඇත. ABS පද්ධතියක ක්‍රියාකාරීත්වය සදහා පරිගණකයක් (E.C.U) හා Actuator අත්‍යාවශය වේ.

E.C.U
පරිගණකයෙහි (E.C.U) ක්‍රියාකාරීත්වය ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදා වෙන්කොට දැක්විය හැක. එනම් ගණනය කිරීම (Calculation), පද්ධතිය පාලනය කිරීම (System Controlling), සහ තම පද්ධතියේ දෝෂයක් ඇතිද යන්න තමා විසින්ම පරික්ෂාකිරීම (Self Diagnosis) වේ.
පහත රූප සටහනින් එය තවත් පැහැදිලි වේ.

Actuator
Actuator එක යනු පරිගණකය විසින් තමාට අවශ්‍යය පරිදි ABS පද්ධතිය පාලනය කිරීම සදහා යොදාගනු ලබන ඒකකය වේ. මෙහි පරිගණකය මගින් පාලනය වන්නාවු Solenoid පිහිටවා ඇති අතර ඒවා ආධාරයෙන් පරිගණකය මගින් ABS පද්ධතිය පාලනය කරනු ලබයි.

Actuator එකක කොටස් කරන ලද රූපසටහනක් පහතින් දක්වා ඇත.

ABS පද්ධතියක් පමනක් ඇති Actuator එකක් තුල පවතින Hydraulic Diagram එකක් පහතින් දක්වා ඇත.

මෙහි P අකුරින් Pump දක්වා ඇති අතර M අකුරින් Motor දක්වා ඇත. මෙම පද්ධතිය සදහා Pump හතරක් ඇතත් Motor ඇත්තේ එකක් පමණි.
මෙහි රෝද 4 සදහා වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වන්නවු පරිපථ 4ක් පවතින අතර එය ක්‍රියාකාරීත්වය ඇතුලු සෑම අතින් ම එකිනෙකට සමාන වේ. එබැවින් මෙහිදි එක් පරිපථයක් පමනක් ‍තෝරාගෙන එහි ක්‍රියාකාරීත්වය සගච්චා කරනු ඇත.

ඉහත රූප සටහනින් ‍තෝරාගත් එක් පරිපථයක් පමණක් විශාල කර පහතින් දක්වා ඇත. එහි ක්‍රියාකාරිත්වය හැදෑරීමෙන් සියලු රෝද වල හැසිරීම අධ්‍යනය කර හැක.

ABS ක්‍රියාකාරීත්වය සැලකීමේදී එහි මුලික අවස්ථා තුනක් දැක්විය හැක.
එනම්
1. Pressure increase Mode
2. Pressure Holding Mode
3. Pressure Reduction Mode

Pressure increase Mode

මෙම Mode එකෙහිදි රෝද ආසන්නයේ Brake පීඩනය වැඩි වන බැවින් මෙම නාමය මෙම අවස්ථාවට ලැබී ඇත. මෙහිදී රූපසටහනේ ආකාරයට Solenoid දෙකක් පද්ධතිය හා සම්බන්ධ කර ඇත. එහි Solenoid IN Valve එක සාමාන්‍ය අවස්ථාවේදී (එනම් විදුලිය හා සම්බන්ධ නොකර ඇති අවස්ථාවේදී) විවෘතව ඇත.නමුත් Solenoid OUT Valve එක සාමාන්‍ය අවස්ථාවේදී (එනම් විදුලිය හා සම්බන්ධ නොකර ඇති අවස්ථාවේදී)වැසී පවති. ඉහත සැකැස්ම අනුව රියදුරා විසින් තිරිංග යෙදීමේදී Brake Oil ඊ හිසින් දක්වා ඇති ආකාරයට රෝද වෙත ගමන් කිරීම සිදුවේ. එ බැවින් තිරිංග යෙදීමත් සමගම රෝද නතර වීම ආරම්භ වේ.

Pressure Holding Mode

රෝද නතර වීමේදී රෝද සිරවීමක්(Lock)සිදුවුවහොත් වහාම අදාල රෝදයේ තිරිංග අක්‍රිය කල යුතුය. එහිදි රියදුරා තවදුරටත් Brake Paddle එක පෑගීම හේතුවෙන් තවදුරටත් එම රෝදයේ ද්‍රව පීඩනය වැඩිවීම වලක්වාලීම සදහා එම රෝදයට අදාල පරිපථයේ Valve IN solenoid වැසීම පරිගණකය මගින් සිදු කරයි. එලෙස Solenoid වැසීමත් සමගම රෝද අසල ද්‍රව පීඩනය නියතව පවතින බැවින් මෙම අවස්ථාව Pressure Holding Mode ලෙස හදුන්වයි.

Pressure Reduction Mode

සිරවු රෝදයේ තිරිංග වහාම ඉවත් කල යුතු බැවින් මෙහිදී Solenoid Out Valve පරිගණකය මගින් විවෘත කිරීම සිදු කරනු ලබයි. එවිට රෝදය අසල ද්‍රව පීඩනය ක්ෂණිකව ඉවත් වී යයි. එමනිසා නැවතත් රෝදය කරකැවීමට ලක් වේ. මෙම ආකාරයට රියදුරා තිරිංග පාදිකය ක්‍රියාත්මක කරගෙන සිටින අවස්ථාවකදී ද රෝද අසල තිරිංග පීඩනය ඉවත් කිරීම ABS පද්ධතිය මගින් සිදු කරයි.

Pump & Motor Assy

ABS පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශය පොම්පය හා මෝටරය මෙහි දක්වා ඇත. අනුවර්තී චලිතයක් සහිත Reciprocating Movement පොම්පය, මෝටරය ආධාරයෙන් ක්‍රියාත්මක වේ. පිස්ටනය පසුපසට ගමන් කිරීමත් සමගම පහතින් ඇති One way වෑල්වය හරහා Brake Oil පොම්පය වෙත ඇතුල් වන අතර පිස්ටනය ඉදිරියට ගමන් කිරීමත් සමගම ඉහලින් ඇති One way වෑල්වය හරහා Brake Oil ඉහලට ගමන් කිරීම සිදුවේ. මෙලෙස ඉහලට ගමන් ගන්නා වූ Brake Oil තිරිංග පදිකය ඉහලට තෙරපමින් Master pump එකෙහි Oil container වෙත ගමන් කිරීම සිදුවේ.
පොම්පයේ ක්‍රියාකාරීත්වයත් සමගම පහතින් ඇති One way වෑල්වයේ විවෘත වීම සහ වැසීම සිදුවේ. මෙලෙස වෑල්වය වැසී පවතින අවස්ථාවන්හී දි රෝදය අසලින් පැමිණෙන Brake Oil එකතුවීම සදහා Reservoir එක යොදා ඇත. නැවතත් පහලින් ඇති One way වෑල්වය විවෘත වීමත් සමගම Reservoir එකෙහි ඇති Brake Oil ඉහලට පොම්ප කිරීම සිදුවේ.
මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවීමේ දී පොම්පය මගින් Brake Oil ඉහලට තල්ලු කිරීමත් රියදුරා විසින් තිරිංග පාදිකය පහලට තල්ලු කිරීමත් හේතුවෙන් තිරිංග පාදිකය මත කම්පනය වීමක් (Vibration) සිදුවේ. මෙලෙස කම්පනයවීම දෝශයක් නොවන අතර ABS පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වන බවට හොද සාක්ෂියක් වේ.

සාමාන්‍යය අවස්ථාව. Ordinary Brake mode

මෙහි සාමාන්‍යය (Ordinary Brake) අවස්ථාවක පද්ධතියේ ක්‍රියාකාරීත්වය දක්වා ඇත. එනම් ABS ක්‍රියාත්මක නොවන ආකාරයේ තිරිංග යෙදීමක් දක්වා ඇත. රථයේ වේගය අඩුකර ගනීමකට හෝ රෝද Lock නොවන ආකාරයේ තිරිංග යෙදීමකදි මෙම ආකාරයට පද්ධතියේ ක්‍රියාත්මක වීම දැක්විය හැක.
පද්ධතිය නිර්මාණයේදී වෑල්වය මතට අඩු පීඩනයක් ක්‍රියාත්මක වන ආකාරයෙන් වෑල්වය නිර්මාණය කර ඇත. වෑල්වය මත වර්ගඵලය අඩුවන ආකාරයෙන් එනම් වෑල්වය තුල සිදුරෙහි ප්‍රමානය කුඩාවට නිර්මාණය කර ඇත. තිරිංග යෙදීමකදි Master Pump එක මගින් ලබාදෙන අධික පීඩනය හේතුවෙන් Brake Oil අඩු කාලයක් තුලදි වෑල්වයේ සිදුර තුලින් ගමන් කලද, නැවතත් Master Pump වෙත Brake Oil ගමන් කිරීමේදී ගමන් කල යුත්තේ කුඩා සිදුරක් සහිත වෑල්වය තුලින් බැවින් (Solenoid Out Valve විවෘත වන්නේ ABS ක්‍රියාත්මක වන අවස්ථාවක්දී පමනක් වන බැවින්) ඒ සදහ වැඩි කාලයක් ගතවේ. එම බාධාව මගහරවා ගැනීම සදහා One way වෑල්වයක් සහිතව අමතර මාර්ගයක් නිර්මාණය කර ඇත.

6. Sensor
ABS සදහා යොදාගනු ලබන Wheel Sensors ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.
1. Passive Type Sensor (Teeth Type)
2. Active Type Sensor (Encoder Type)

1. Passive Type Sensor (Teeth Type)

Passive ආකාරයේ සෙන්සරයක් ඉහතින් දක්වා ඇත. වර්තමානයේ බොහෝමයක් රථයන්හි දක්නට ලබෙනුයේ මෙම ආකාරයේ සෙන්සරයන් වේ. මෙහිදි Teeth සහිත Rotor නැමැති කොටස රෝද හා සම්බන්ධිතව ඇති අතර රෝද කරකැවීමෙදී රොටරයද කරකැවීම සිදු වේ. Sensor ස්ථිරව සවිකර ඇති අතර ප්‍රේරණය Induction නැමති මූලධර්මය උපයෝගි කරගනිමින් රෝද කරකැවීමත් සමග සෙන්සරය තුල විද්යුත් තරංගයක් නිපදවීම සිදුවේ. එය Analog එකක් වන අතර එම තරංගය නිර්මාණය වන ආකාරය පහත රූපසටහනින් දක්වා ඇත.


2. Active Type Sensor (Encoder Type)

Active ආකාරයේ මෙම සෙන්සරය Encoder Type යනුවෙන්ද හැදින් වේ. ඉතාම නවීන රථ සදහා මෙම ආකාරය යොදාගනු ලබයි. මෙහිදී රෝද හා සම්බන්ධිතව රොටරයක් ඇතත් එහි Teeth දක්නට නොමැති අතර මෙය Magnetic රොටරයක් වේ. සෙන්සරය ස්ථිරව සවිකර ඇති අතර Hole ආචරණය නැමැති මූලධර්මය උපයෝගි කරගනිමින් Digital තරංගයක් මෙහිදී නිපදවනු ලබයි.



7. Safety Precaution
1. මෙම උපාංග ඉතාමත් සංවේදී ඉලෙක්ට්‍රොනික කොටස්වලින් යුක්තවන බැවින් අලුත්වැඩියාවන් සිදුකිරීමේදී ඉතාමත් පරීක්ෂාකාරීව මනා දැනුමක් හා පලපුරුද්දක් සහිත පුද්ගලයන් විසින් සිදු කල යුතුය.
2. ABS පද්ධතියක් සහිත රථයක් වුවද නතර වීමට ගතවන කාලය හ දුර මාර්ගයේ තත්වය මත වෙනස්වීම සිදුවිය හැක.
3. ABS පද්ධතියකින් උපරිම කාර්යක්ෂමතාවය ලබාගැනීම සදහා රථයේ Brakes, Suspension, Tire (Size & Pressure) ආදියෙහි Modification සිදු නොකල යුතුය.


Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා...!!

9 comments:

චිත්‍රක said...

ස්තූතියි. මේ පිලිබඳව තව විස්තර දැන ගැනිමට කැමතියි . ඔයාගේ "කසරය" වටා කැරකෙන අකුරු සෙට් එක නම් මානසික වධයක්. ඒක "බ් රෙක්' කරන්න ක්‍රමයක් අනිවාර්යයෙන්ම යෙදිය යුතු වෙනවා

nuwan blog said...

ok chithraka ඒකට ක්‍රමයක් යොදන්නම්...

රූ.... said...

ලිපි පෙල ඉවර නෑ නේද?
ABS ගැන තව ගොඩක් තියනවා දැනගන්න..

nuwan blog said...

ඉවර නෑ රූ.... තව තියෙනවා up date කරන්න....!!

ඉෂාන් ධනුෂ්ක said...

thawa liyanna niyamai mamath asai vehicle valata

Anuradha Ekenayake said...

අතිවිශිෂ්ටයි ඔහොම යං ඔහොම යං.
මගේ වාහනයේ "ABS" indicate light එක පත්තුවෙලා තියෙන්නෙ. company දාල චෙක් කලා, කෂ්ටිය කියනවා sensor එකක් ගිහිල්ල වෙන්න ඇති replace කරන්න වෙයි කියලා. මගේ වාහනයේ තියෙන්නෙ Passive type එකක්.වාහනය Cheverolet Aveo 2005 model එකක්. හේතුව මොකක් වෙන්න බැරිද?
මොකද මට company එකේ service එක ගැන සෑහීමකට පත්වෙන්න බෑ.

nuwan blog said...

@ Anuradha Ekenayaka බොහෝ විට Sensor එකක ප්‍රශ්නයක් වියහැක. කෙසේ නමුත් ඔබගේ රථයේ ඇති ගැටළුව ABS පරිගණකය විසින් හදුනාගෙන ඇත. එබැවින් ප්‍රථමයෙන්ම Scanner එකක් ආධාරයෙන් පරික්ෂාකර ABS පරිගණකය විසින් හදුනාගෙන ඇති ගැටළුව කුමක්ද යන්න පරික්ෂාකරවා ගන්න. අනතුරුව එම ගැටලුවට පිළියම් යෙදීම සිදු කරන්න. මෙම පරික්ෂාව සදහා පහසුකම් බොහෝ Work Shops වල ඇත.

Anuradha Ekenayake said...

බොහොමත් ම ස්තූතියි ඔබගේ සහයෝගයට.

GUPTHIKA GAYAN said...

නියමයි බොස්

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Autotop.blogspot.com | Bloggerized by - K.A.Nuwan Chamara - Automobile Instructor (AETI)